නගර රැසක පැතිර යන කහ උණ වසංගතය

කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය වසරේ දී ආරම්භ වූ මෙම වසංගතයෙන් මේ වනවිට රෝගීන් 74 ක් වාර්තා වී ඇති අතර, ඉන් 34 ක්ම මියගොස් ඇති බව සඳහන් වෙනවා.

පවතින අවදානම් සහගත සෞඛ්‍ය තත්ත්වයෙන් වැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ ඉහළ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් දිනා ඇති එරට නැගෙනහිර ටොලිමෝ පළාතට වන අතර, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට රජය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නිවේදනය කිරීමට පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කහ උණ ආසාදනය වන්නේ ආසාදිත මදුරු දෂ්ටනයෙන් මිනිසා වෙත සම්ප්‍රේෂණය කෙරෙන වෛරසයක් මගිනි. කෙසේ නමුත් එන්නත්කරණයෙන් මෙම කහ උණ ආසාදනයවීම වළක්වා ගැනීමේ හැකියාව තිබෙනවා.

ඒ අනුව, පාස්කු නිවාඩුවට පෙර එන්නත්කරණයට ලක්වන ලෙසට එරට බලධාරීන් ජනතාවට උපදෙස් ලබා දී තිබෙන අතර, කහ උණ රෝග ලක්ෂණ අනෙකුත් උණ රෝගී තත්ත්වයන්ට බොහෝ සෙයින් සමාන වීම හේතුවෙන් කහ උණ ආසාදිතයෙකු හඳුනා ගැනීම තරමක් අසීරු වෙන බව සඳහන් වෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව කහ උණ ආසාදිතයින් බහුතරයක් එහි පළමු අදියරයේ දී ඉන් සුවය ලබනවා.

කෙසේ වුවත්, 15% ක පමණ ආසාදිතයින් පිරිසක් උග්‍ර කහ උණ රෝගී තත්ත්වයට මුහුණ දෙන අතර, ඉන් අඩක් දින 10 ත් 14 ත් අතර කාලයක දී මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *